Wednesday, January 21, 2015

ආණමඩුව නිවසකට පැමිණි අමුත්තා

ආණමඩුව කොට්ටුකච්චිය නවෝද්‍යා විද්‍යාලය ආසන්නයේ නිවසකට (20) වන දින රාත්‍රියේ හදිසියේ පැමිණි කැබැල්ලෑවෙකු (ඈයා) අල්ලාගත් නිවැසියන් ඉතා ආරක්ෂිතව කරුවලගස්වැව අඩවි වනජීවි නිළධාරි කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර තිබුණි.

කොට්ටුකච්චිය නවෝද්‍යා විද්‍යාලය ආසන්නයේ පිහිටි පී.එම්.නිමල් ඒකනායක මහතාගේ නිවසට මෙසේ කැබැල්ලෑවෙකු පැමිණ තිබූ අතර, ඔහු විසින් කැබැල්ලෑවා ඉතා ආරක්ෂිතව
පසුදා පහන් වනතුරු රදවාගෙන (21) වන දින වනජීවි නිළධාරින්ට භාර දීමට කටයුතු කර තිබුණි.
මෙම කැබැල්ලෑවා කුඩා කූඩුවක දමාගෙන ආසන්නයේ පිහිටි කොට්ටුකච්චිය විද්‍යාලයට රැගෙන ගොස් දරුවන්ට දැක බලා ගැනීම සදහා ඉඩ සැලසීමද විශේෂ සිද්ධියක් විය.

කැබැල්ලෑවා ශ්‍රි ලංකාවේ වියළි කලාපය ආශ්‍රිතව ජීවත් වන සතෙකු වන අතර, 2009 අංක 22 දරණ වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ දැඩි ආරක්ෂිත සතෙකු ලෙස නම් කර තිබේ.

නිෂාචර ගණයට වැටෙන කැබැල්ලෑවා වසර 20 සිට වසර 50 දක්වා ආයු කාලයක් පවතින සත්වයයෙකු ලෙස සැලකේ. කැබැල්ලෑවන් විසින් ඉදිකරන බිංගෙවල් තුල ඉත්තෑවන් පදිංචි වීම ජනවහරේ සදහන් වන්නේ ඉත්තෑවා ගෙට කැබැල්ලෑ රිංගුවා යනුවෙනි.

බරපතල ලෙස වදවීයාමේ තර්ජනයට මුහුණ පා ඇති කැබැල්ලෑවා වන සතුන් අතර ආකර්ෂණිය සත්ව විශේෂයක් ද වේ. තම සිරුර සතුරු උපද්‍රව වලින් ආරක්ෂා කර ගැනීම සදහා සුවිශේෂ සිය ගණනක කුඩා කොරපොතු වලින් කැබැල්ලෑවා ආරක්ෂා වී සිටී.

කොට්ටුකච්චිය නිවසට පැමිණි මෙම කැබැල්ලෑවා අඩි තුන හමාරකින් දිගින් යුක්ත වූ අතර, කිලෝ දහයකට ආසන්න බරකින් යුක්ත යූ බව කියයි.

No comments:

Post a Comment