මංගල ගමනට කළු ඇන්ඳොත් විවාහ ජීවිතේ කළුම කළුයි
සුදු පැහැයෙන් පිසාචයන් තැති ගනී
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEglOXFqSDAKGqk4FazDyIiyeCPvCetWTsZXSQYt3QrMVUYRdVQsvuD-VYr75EZXakwV8q6GxyrqX3CfQjvm1j5MM09OZsOl7GvZtW9hgoJPQ3gkaLHxd__9Rkeaqw6Be6P4xmb75khg-mU/s1600/images+(1).jpg)
මීට බොහෝ හේතු සාධක තිබේ. චන්ද්‍රයාට අයත් සුදුපාට පවිත්‍රත්වයේ සංකේතය ලෙස සලකයි. පතිකුලයට යන යුවතිය සුදුවතින් සැරසුණු විට අන්‍යයන් අතරේ කැපී පෙනෙන චරිතයක් බවට පත්වේ. එදා මනාලිය මෙන්ම මනාලයාද සැරසුනේ සුදු පැහැති ජාතික ඇඳුමෙන් හෝ බටහිර ඇඳුමෙනි.
මනාලියක් සුදුවතින් සැරසීමට හේතු බොහෝමයකි. සුදු පැහැයෙන් තමා නිශ්චලවීමට කැමති බවත්, පිරිසිදු මනසක් ඇති බවත්, පවිත්‍ර චරිතයක් ඇත්තියක බවත්, බාහිර කරදර අඩුකර ගැනීමට කැමති බවත් අර්ථ දක්වා තිබේ.
තවද සුදුපැහැයට ඇස්වහ - කටවහ දෝෂ නොවදින බවද යක්ෂ, ප්‍රේත, භූත දිෂ්ඨි නොවැටෙන බවටද ගුප්ත විද්‍යාත්මක මතයකි.
එමෙන්ම එදා මනාලිය සම්ප්‍රදායානුකූලව දෙවෙනි ගමනට සැරසෙන්නේ රක්ත වර්ණයෙන් හෙවත් රතුපැහැයෙනි. ඊට ද බොහෝ හේතු දක්වා තිබේ. එක් හේතුවක් නම් තමා බඹසර රකිමින් පිරිසිදු කුමරියක් ලෙස කල්ගතකළ බව පෙන්වීමයි.
තවද තමා දුර්වල තැනැත්තියක නොව ශක්තිමත් කාන්තාවක බවද රතු පාටින් සංකේතවත් වේ. රතු පැහැයට අධිපතිවන්නේ කුජ හෙවත් අඟහරු ග්‍රහයාය. අඟහරු යුද්ධයටද අධිපති වේ. ඉන් සංකේතවත් වන්නේ යුග ජීවිතයේ ඕනෑම ප්‍රශ්නයකට මුහුණදීමේ හැකියාව ඇති බවයි.
මේ ආකාරයෙන් පුරාණයේ සිටම මනාලියන් සැරසිය යුතු වර්ණයන් තෝරාගෙන ඇත්තේ අර්ථාන්විතවය.
මනාලියගේ සමේ පැහැය ඇඳුමේ වර්ණයට අදාළ නොවිය. පොදුවේ පළමු දවස සුදු වර්ණයත් දෙවෙනි දවස රතු වර්ණයත් ලෙස සම්මතයේ පැවතුණි.
එහෙත් අද මනාල යුවළ මංගල ගමනටත් දෙවෙනි ගමනටත් විවිධ වර්ණ තෝරා ගනී. බොහෝවිට මෙය සිදුවන්නේ අනවබෝධය නිසා හෝ හිතුවක්කාර ගති පැවතුම් නිසා විය හැකිය. මේ පිළිබඳව වැඩිහිටියන් තරුණ පරපුරට අවබෝධයක් ලබාදිය යුතු කාලය එළැඹ ඇත.
අද මංගල ගමන යන අතරතුරදී හදිසි අනතුරුවලට මුහුණ දෙන පිරිස කොතරම්ද? විවාහයේ උණුසුම යාමටත් පෙර දික්කසාදය ඉල්ලා අධිකරණයේ පිහිට පතන අය කොතරම්ද? මේ අය පිළිබඳ සමීක්ෂණයක් කරන්නේ නම් අනෙකුත් සාධක අතරට වර්ණයද බලපා ඇති බව හෙළිකරගත හැකිවනු ඇත.
මංගල යහනේදි සමහර ස්වාමිවරුන් බිරිඳ ඝාතනය කරයි. එහි අනෙක් පැත්තද එසේමය. සමහර විට බාහිර බලපෑමකින් ඔවුන් දෙදෙනාගේම ජීවිත විනාශවී යයි. මේ අයුරින් මිනිසුන් යකුන් යක්ෂණියන් මෙන් හැසිරීමට බොහෝ හේතු සාධක තිබේ. පොරොන්දම් නොගැලපීම, අශුභ නැකැත්වලින් විවාහ දිවියට ඇතුලත්වීම, කිසිදු නැකතක් නොබලා හිතුමතයට අශුභ අවස්ථාවන්හිදී යුගදිවියට පත්වීම, ඒරාෂ්ඨක අපල කඩහන්දි මාරක යෙදෙන අවස්ථාවල මංගල කටයුතු සිදුකිරීම, ආදී බොහෝ කරුණු ජ්‍යොතිෂ විද්‍යාත්මකව පෙන්වා දිය හැකිය.
එසේම පියවි ඇසට නොපෙනෙන අදෘෂ්‍යමාන බලවේගවල ක්‍රියාකාරිත්වය හේතුවෙන්ද අප බලාපොරොත්තු ෙනාවන ආකාරයේ කරදර කම්කටොලු ඇතිවිය හැකි අතර ඊට වර්ණ බලපෑමත් හේතුවකි.
ඒ පිළිබඳව පර්යේෂණවල නියැළෙන්නේ නම් තම තමන්ටම එය සාක්ෂාත් කර ගැනීමේ හැකියාව තිබේ.
වර්තමානයේ බොහෝ අය මංගල උත්සව ඇතුළු සාදවලට කළුපාට ඇඳුමෙන් සැරසීම දැන් මෝස්තරයකි. සමහර මනාලියන් ‘goingaway” සඳහා සැරසීමට කළු ඇඳුමක් තෝරා ගනී. මෙය සරලව විස්තර කරන්නේ නම් එදා මනාලිය මෙන් අද මනාලිය සැරසී සිටින මංගල ඇඳුමෙන්ම නිවසින් හෝ හෝටලයෙන් පිටත්ව නොයයි. ඒ සඳහා විවිධ වර්ණයන්ගෙන් යුත් විවිධ මෝස්තරයේ ඇඳුම් තෝරා ගනී.
චාරිත්‍රයේ හොඳ නොහොඳ මෙන්ම ඇදුමේ වර්ණය පිළිබඳව සැලකිල්ලක් දක්වන්නේ නම් යහපත්ය.
පවුල් ජීවිත අවුල්කර ගැනීමටත්, නිතර නිතර ගෙදර කරදර කම්කටළු ඇතිකර ගැනීමටත්, නිතරම දුකින් කාලය ගත කිරීමටත් කැමති ඇත්තෝ වෙත් නම් කළු වර්ණය භාවිතා කර ඇත්දැකීමක් ලබා ගත හැකිය.
අද බොහෝ දෙනා මඟුල් ගෙවල්, අවමගුල් ගෙවල්වලට පමණක් නොව විහාරස්ථානයට පවා කළු ඇඳුමෙන් සැරසීයාම මෝස්තරයකි. අඳුරෙන් අඳුරට යාමට උත්සාහ කරන මිනිසුන් සිටින සමාජයක මෙවැනිදේ අරුමයක් නොවේ. එහෙත් මේවායේ ශුභ අශුභ පෙන්වාදීම සමාජ සේවකයෙකු වූ ජ්‍යොතිෂවේදියාගේද යුතුකමකි.
ප්‍රවීණ ජ්‍යොතීර්වේදී ශාන්ත දේවප්‍රිය මහතා සමඟ කරන ලද සාකච්ඡාවකදී කළු වර්ණයේ අශුභ අත්හදා බැලීමට සරල ක්‍රමයක් පෙන්වා දුන්නේ ඔහු පර්යේෂණයකින් ලත් අත්දැකීම් ඇසුරිනි.
ඔබටද මෙය අත්හදා බැලිය හැක. කළු ගවුමකින්, කළුරෙද්දකින් හෝ කළු කමිසයකින් සැරසී ළඟම ඇති පන්සලටකට ගොස් තෙල්, මල්, සුවඳ පූජාකර බෝධියට හෝ දේවාලයට පහනක් දල්වා මළගිය ඥාතීන්ට පින්දී ගෙදර එන්න.
පසුදා සිට එම වේලාවට නිවසේ අඩදබර කලකෝලාහල ඇතිවේ. අසහනය වැඩිවේ. නිතරම කේන්තියෙන් පසුවෙයි.
මීට හේතුව නම් පෝදා පන්සලට ගොස් රැස්කර ගත් පින් බෝධීන් වහන්සේ ළඟ හෝ දේවාලය අසල හෝ මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන විට කළුපාට ප්‍රියකරන මළප්‍රේතයින් භූතයින් හෝ අභව්‍ය ආත්මවල සිටින මළගිය ඥාතීන් ඔබ පසු පස නිවසට පැමිණිමයි.
පසුදිනත් එම වේලාවට කළුඇඳුම් ඇඳ එම ස්ථානයටම ගොස් පහනක් දල්වා මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කළහොත් කරදර ඇති නොවේ. එය දිගින් දිගටම නොකඩවා සිදු කළ යුතුය. එක්දිනක් හෝ එය සිදුකිරීමට අපහසු වූ අවස්ථාවක නිවසට පැමිණි අමනුෂ්‍යයින් නිවැසියන්ට කරදර ඇති කරයි.
ඔබ කඵපාට ඇඳුමකින් සැරසී විහාරස්ථානයට ගොස් තමා විසින්ම තමාටත් නිවසටත් ඇතිකරගත් කරදරයෙන් මිදීමට අවශ්‍ය නම් දියනා පිරිසිදුවී සුදු ඇඳුමෙන් සැරසී පෙර තමාගිය විහාරස්ථානයට ගොස් තෙල්, මල්, සුවඳ පූජාකර පිරිත් සඡ්ඣායනා කර, විනාඩි කිහිපයක් හෝ මෛත්‍රී භාවනාව වඩා පෙර දිනයේ මළගියඥාතීන්ට පින් අනුමෝදන් කළ ස්ථානයටම ගොස් ඥාතීන්ට පින් අනුමෝදන් කළ යුතුය. එවිට කරදර අඩුවේ.මෙය පර්යේෂණාත්මකව ඔප්පු කර ඇති සත්‍යයකි.
ධම්මිකා වෙලේගොඩ
No comments:
Post a Comment