Tuesday, January 20, 2015
වාර්තා පිට වාර්තා තැබූ ඩිවිලියර්ස්ගේ විස්මිත ඉනිම
දකුණු අප්‍රිකාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර පෙරේදා ජොහැන්නස්බර්ග් නුවර පැවැති ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගය ජගත් ක්‍රිකට් වාර්තා පොතේ පිටු ගණනාවක් අලුත් කළේය. දකුණු අප්‍රිකානු පිතිකරු ඒ.බී.ඩි විලියර්ස් ලොව වේගවත්ම එක්දින ක්‍රිකට් ශතකය සටහන් කළ ඒ දිනයේ විශ්වාස නොකළැකි දස්කම් බොහොමයක් වාර්තා විය.
ඩි විලියර්ස් ඔහුගේ ශතකය ලබා ගත්තේ පන්දු 31කිනි. මෙය ලෝක වාර්තාවකි. මීට පෙර වාර්තාව තබා තිබුණේ පන්දු 36කින් ශතකයක් රැස් කළ කොරී ඇන්ඩර්සන් ය. එයද කොදෙව්වන්ට එරෙහිව විය. ඒ, 2014 වසරේ ක්වීන්ස්ටවුන්හිදීය.
* ඩි විලියර්ස් අර්ධ ශතකය ලබා ගත්තේ පන්දු 16කිනි. මෙයද ලෝක වාර්තාවකි. මීට පෙර මේ වාර්තාවේ හිමිකරුවා වූයේ 1996 වසරේ පාකිස්තානයට එරෙහිව පන්දු 17කින් ලකුණු 50ක් ලබා ගත් සනත් ජයසූරිය ය.
* ඩි විලියර්ස් හයේ පහර 16ක් එල්ල කළේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ඉනිමක වැඩිම හයේ පහර සංඛ්‍යාව සඳහා වන ලෝක වාර්තාව සම කරමිණි. ඉන්දියාවේ රෝහිත් ෂර්මා 2013 වසරේ ඔස්ට්‍රේලියාවට එරෙහිව සටහන් කළ ලකුණු 209ක ඉනිමේදී මේ දක්ෂතාව වාර්තා කර තිබිණි.
* හෂිම් අම්ලා හා ඩි විලියර්ස් අතර පන්දු 67කින් වාර්තා වූ ලකුණු 192ක සබඳතාවයේ ලකුණු ලබා ගැනීමේ වේගය 17.2ක් විය. මෙය, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ඕනෑම රටකට එරෙහිව ලකුණු 100කට වැඩි සබඳතාවක වැඩිම ලකුණු ලබා ගැනීමේ වේගය වෙයි.
* තිස්වැනි ඕවරයෙන් පසුව පන්දුවට පහර දීමට පැමිණ ඩි විලියර්ස් ශතකයක් වාර්තා කළ දෙවැනි අවස්ථාව මෙය වෙයි. පෙරේදා තරගයේදී ඔහු කඩුල්ලට පිවිසියේ 39 වැනි ඕවරයේදීය. 2010 වසරේ ඉන්දියාවට එරෙහිව 33 වැනි ඕවරයේදී පන්දුවට පහර දීමට පැමිණ ශතකයක් ලබා ගැනීම මීට පෙර අවස්ථාව විය. වාර්තාගත ඉතිහාසයට අනුව 30 වැනි ඕවරයෙන් පසුව කඩුල්ලට පිවිස ශතකයක් ලබා ගත් ලොව එකම පිතිකරුවා ඒ.බී.ඩි විලියර්ස් වෙයි. ඔහු දෙවතාවක්ම මේ හපන්කම පෑමට සමත්ව තිබේ.
* ශතකය සම්පූර්ණ කිරීමට ඩි විලියර්ස් ට මිනිත්තු 40ක් ගතවිය. සිය අර්ධ ශතකය සම්පූර්ණ කිරීමට ඔහුට අවශ්‍ය වූයේ මිනිත්තු 19ක් පමණි.
* මේ තරගයේ දකුණු අප්‍රිකානු ඉනිමේදී ඔවුන් අවසාන ඕවර 10 ඇතුළත ලකුණු 163ක් රැස් කළහ. මෙය 2001 වසරෙන් පසුව ඕනෑම කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ලකුණු ප්‍රමාණය වෙයි.
* දකුණු අප්‍රිකාව 439ක් හා බටහිර ඉන්දීය කොදෙව් පිල 291ක් ලෙසින් ලකුණු 730ක් සමස්ත තරගයේදී වාර්තා විය. මෙය, ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක වාර්තා වූ තෙවැනියට වැඩිම ලකුණු ප්‍රමාණය වෙයි. එක්දින තරගයක වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බිහිවී ඇත්තේද ජොහැන්නස්බර්ග් මේ ක්‍රීඩාංගණයේදීමය. ඒ, 2006 වසරේ ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැති ජනප්‍රිය තරගයේදීය.
* මේ තරගයේ පන්දු යැවූ ජෙරම් ටේලර් ලකුණු 95ක් ලබා දුන්නේය. මෙය බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නෙකු විසින් ලබා දුන් වැඩිම ලකුණු ප්‍රමාණය වෙයි. දෙවැනියට වැඩිම ලකුණු ලබා දුන් පන්දු යවන්නා ලෙස සටහන්ව ඇත්තේ ලකුණු 91ක් ලබා දුන් ජේසස් හෝල්ඩර් ය. මීට පෙර වෙනත් කිසිම කොදෙව් පන්දු යවන්නෙක් ජාත්‍යන්තර එක්දින තරගයක ලකුණු 90ක් ලබා දී නැත.
* මේ තරගයේ ටේලර් හා හෝල්ඩර් ට පෙර, ජාත්‍යන්තර එක්දින තරගයක ඉනිමක පන්දු යවන්නන් දෙදෙනෙකු ලකුණු 90ට වැඩියෙන් ලබා දී ඇත්තේ එක් වතාවක් පමණි. 2012 වසරේ නවසිලන්තයට එරෙහිව පැවැති එක්දින තරගයකදී සිම්බාබ්වේ කණ්ඩායමේ බ්‍රයන් විටෝරි හා එල්ටන් චිගුම්බුරා පිළිවෙලින් ලකුණු 105 හා 92ක් ලබා දී තිබේ.
* මේ තරගයේදී පිතිකරුවන් තිදෙනෙක්, එනම්, හෂිම් අම්ලා (153), රිලී රොසොව් (128) හා ඩි විලියර්ස් (149) ශතක ලබා ගත්හ. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක එකම ඉනිමකදී පිතිකරුවන් තිදෙනෙකු ශතක වාර්තා කළ ප්‍රථම අවස්ථාව මෙය වෙයි.
* දකුණු අප්‍රිකාව මේ තරගයේදී වාර්තා කළ මුළු ලකුණු 439 ජාත්‍යන්තර එක්දින තරගයක සටහන් වූ දෙවැනියට වැඩිම මුළු ලකුණු ප්‍රමාණය වෙයි. ලෝක වාර්තාව වන්නේ මුළු ලකුණු 443 ය. එම වාර්තාව 2006 වසරේ නෙදර්ලන්තයට එරෙහිව තැබුවේ ශ්‍රී ලංකාව ය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment