Tuesday, January 20, 2015

මසින් නොපිරුණු සිහින් මුහුණක් පිහිටියේ නම් ලොවේ ළඳකට

අධික කම්සැප පතා සලෙලුන් සොයා යනු ඇත නොතිර හැඟුමට මුහුණ ඕනෑම කෙනෙකුගේ හදවතේ කැඩපතකි. හැඟීම් දැනීම්,
විඳීම් යන සියල්ලම මුහුණෙන් පිළිඹිබු වේ. ස්ත්‍රියකගේ මුහුණ නිවැරැදිව අවබෝධ කොට ගත හැකි නම් ඇගේ සමස්ත චරිතය ඇතැඹුලක් සේ පසක් කොට ගත හැකිය.

පුන් සඳ මෙන් වටකුරු මුහුණක් සහිත ස්ත්‍රිය නිවසට සිරිකතකි‍. පෙර පින් බලය මනාව රැගෙන ආ තැනැත්තියෙකි. තම සැමියාට ඉතා ආදරයෙන් ගරු සත්කාර කරන ඇය පති භක්තිය දිවි දෙවෙනි කොට රකියි.

යම් ස්ත්‍රියකගේ මුහුණේ දකුණු පැත්තේ රතු පැහැති ඉන්නෙකු බඳු සළකුණක් ඇත්නම් ඇය කරුණාවෙන් අග තැන්පත්ය. එමෙන්ම වාසනාවන්තය. යම් හෙයකින් මුහු‍ණේ මතුපිට වම් පැත්තට වන්නට රතු ලප ආදිය දක්නට ඇත්තේ නම් ඇය නිතර නිතර ලෙඩ දුක් වලින් පෙළෙයි.
පියුමක් වන් මුහුණක් හිමි තැනැත්තිය ඉතා විනීතය.එමෙන්ම ගුණ ගරුකය. තියුණු බුද්ධියකින් පොහොසත්ය.
මුහුණේ අඳුරු පැහැති කැළැල් බොහෝ සෙයින් දක්නට ලැබෙන්නේ නම් එම ස්ත්‍රියට දරු සම්පත් හීනය. කෙළෙහිගුණ නොතකන තැනැත්තියෙකි. කලහකාරී අඩු බුද්ධියකින් යුත් භාර්යාවකි.
සිහින් මුහුණක් හිමි තැනැත්තිය කම්සැප ලැබීමට ඉතා කැමතිය. තියුණු නුවණක් ඇති වුව ද ඇයගේ කපටි ගති මැනවින් පිළිඹුබු වේ. කෙළෙහිගුණ නොතකන තැනැත්තියෙකි.

භාව කුතුහලය ඇසුරෙන් කළ ස්වාධීන කාව්‍ය නිර්මාණයකි

නිසසල හදවත් විකසිත කරවන වරමකි ළඳ හට හිමි වන්නේ
සුපතල පඬිවරු අඟනක සතු ගුණ වැනුවත් - නැත එය නිම වන්නේ
පළකළ අදහස් පොරණෙහි ඉසිවරු කිසිදා නොම විය - බොරු වන්නේ
පොබකළ පුන්සඳ මෙන් ළලනක සතු මුහුණෙහි වතගොත - පවසන්නේ

පුන්සඳ මෙන් වටකුරු මුහුණක් ඇති ලඳකගෙ ගති ගුණ කියයි මෙසේ
නිවසට සිරිකත කැන්දන පින් ඇති සව්සත වෙත මෙත කරයි ‍තොසේ
හිමි සඳු සුරකින ඉටු දෙවියකු ලෙස ගරු සරු කර නිතර මෙසේ
පින් ඇති කඩිසර යහගුණයෙන් සැදි අඟනක සතු සිරි කියයි මෙසේ

මසින් නොපිරුණු සිහින් මුහුණක් පිහිටියේ නම් ලොවේ ළඳකට
අධික කම්සැප පතා සලෙලුන් සොයා යනු ඇත නොතිර හැඟුමට
තියුණු නුවණක් සතුට තිබුණත් කපටි ගතිගුණ පෙනේ කදිමට
උදව් කළමුත් අගය නොකරති එවන් අඟනුන් පැතුව දනහට

කුරිරු අවගුණවලින් සපිරුණු ගැහැණියක සතු ලකුණු වන්නේ
නපුරු දුක්මුසු පැල්ලමින් යුතු කෙසඟ මුහුණක් සතු කරන්නේ
කෙළෙහි ගුණ තම කිසිත් නොතකන ඇගේ අදහසමය පතන්නේ
එවන් අඟනුන් පැතූ දනහට නොලැබ දරු සැප දුක දෙවන්නේ

දකුණු පැත්තේ උවන මතුපිට රතැති ඉන්නෙකු ඇතොත් ළඳකට
සතට කරුණා ගුණය පෙන්නා ගෙනේ සිරිකත වෙසෙන නිවසට
වමට බරවුණ මුහුණ මතුපිට ඇතොත් රතුලප කියන විලසට
නිතර රෝ දුක්වලින් බරවුණ ළඳක් බවදත යුතුය සැමවිට

නිවසට මිණි පහනක් ලෙස සව්සත වෙත සුවය සදන
ළඳකට නිසි උවන තුළින දිස්වෙයි යහගුණය නිතින
සතහට මෙත් කරුණා ‍ගුණ පෙන්වා නිති සතුට සදන
වටමට කළ පියුමක් වන් මුහුණ අගෙයි ළඳළු සොබන

වමට බරවුණ මුහුණ මතුපිට ඇතොත් රතුලප කියන විලසට
නිතර රෝ දුක්වලින් බරවුණ ළඳක් බවදත යුතුය සැමවිට


බී. ආර්. දයානන්ද

No comments:

Post a Comment