Tuesday, January 20, 2015

හිටපු ජනපති මහින්ද දළදා සමිඳු වැඳ මහා නාහිමිවරු බැහැ දකිති

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (20) දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු අස්ගිරි මහා විහාරවලට ගිය හිටපු ජනපතිවරයා උන්වහන්සේලා සමඟ පැයක
පමණ සාකච්ඡාවක නිරත විය.
හිටපු ජනපතිවරයා දළදා මාළිගාවට පැමිණි අවස්ථාව.
මහා හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා තමන්ට ජනපතිවරණයේදී ඡන්දය ලබාදුන් ලක්ෂ 57ක්වූ ජනතාවට ස්තූතිවන්ත වන බව පැවසුවේය. ජනතා අපේක්ෂාවන් වෙනුවෙන් ඉදිරියේදීත් පෙනී සිටින බවද ඒ මහතා කීය.
රට පුරා දේශපාලන පළිගැනීම් සිදුවන බැවින් එය නතර කළ යුතු බවද හිටපු ජනපතිවරයා පැවසුවේය. වසර 1931 පටන් දේශපාලනයේ නිරත පවුලක් වුවත් පළමු වතාවට මෙවර තම නිවස පොලිසිය මඟින් පරීක්ෂා කළ බවත් දේශපාලන සදාචාරය මෙයද යන්න ප්‍රශ්නයක් බවත් ඒ මහතා කීය‍.
මේ අතර ශ්‍රී දළදා මාළිගාවට හිටපු ජනපතිවරයා පැමිණි අවස්ථාවේ ජනතාව ඒ මහතා වටකරගෙන කඳුළු සැලූ අතර මහින්ද රාජපක්ෂ මහතාද දෑසේ කඳුළු මතින් ඔවුන් සැනසූ අතර එය ඉතා සංවේදී අවස්ථාවක් විය.
මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්ත, මහනුවර පුරපති මහේන් රත්වත්ත, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරු සහභාගී වුවත් හිටපු කැබිනට් ඇමැතිවරු, මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යවරුන්, මහනුවර දිස්ත්‍රික් ආසන සංවිධායකවරු කිසිවෙක් සහභාගී නොවීම විශේෂත්වයකි.

No comments:

Post a Comment